Friday 1 October 2010

"ළමා ලොව එළිය කරන්නට එක්වෙමු සැම දනා"

අද ක්‍රි.ව 2010ක් වූ වප් මස පළමු වැනිදාය. තවත් විදියකට කිව්වොත් අද ලෝක ළමා දිනයයි! පාසලක් විදියට එය සැවොම එකතු වී අනිවාර්යෙන්ම සමරන උත්සවයකි. ශ්‍රී ලංකාවේ අපි ලෝක ළමා දිනය අද වැනි දවසක සමරන්නෙමු. නමුත් විවිධ රටවලට අනුව මේ දිනය වෙනස් වේ. අපේ අසල් වැසි ඉන්දියාව ලෝක ළමා දිනය සමරන්නේ නොවැම්බර් දහසතර වැනිදාය. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එය නොවැම්බර් මස විසි වැනිදාය. කවුරු කෙසේ මොන දිනයේ සැමරුවත් එය ළමා දිනයමයි. එසේම අනිත් අතින් ගත් විට අද ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි දිනයද සැමරේ. ඒ නිසා ළමා පරපුරද වැඩිහිටි පරපුරද එකට එක්වන දිනයක් වේ.

සම්මතය අනුව අවුරුදු දහ අටට අඩු ඕනෑම පුද්ගලයෙක් ළමයෙක් වේ. නමුත් දරුවකු අවුරුදු දහහතරේ සිට මේ ළමා අවදිය අවසන් කරමින් වැඩිහිටිබාවය කරා වර්ධනය වීම සිදු වේ. ඉතින් ළමයි වශයෙන් මේ දේ අප කාටත් පොදු කරුණකි. නිසි කලදී ළමාවියත් වැඩිහිටි වියත් ගත කිරීමට අපට අනිවාර්යෙන්ම සිදු වේ. නූතන සමාජය තුළ ළමයාට එල්ල වන ප්‍රධානම අභියෝගය ළමාකම ආරක්ෂා කර ගැනීමයි. නියමිත වයසටත් පෙර ළමයාට වැඩිහිටිබාවය ලබාදීම සමාජය විසින් නොදැනුවත්ව හෝ දැනුවත්ව සිදු වේ. මෙහි ඇති වැරැද්ද වනුයේ වැඩිහිටි අවදියක් ගත කිරීමට තරම් ළමයා පරිපූර්ණත්වයකට පත්ව නොතිබීමයි! මල් කැකුළකට දැඩි උණුසුම ලැබීමෙන් එය පිපෙන්නටත් පෙර පරව යයි. නමුත් මල් කැකුළකට එය උරුම නොවිය යුතු දෙයකි. මක්නිසාදයත් එය පිපී දිලෙන්නටත් එහි සුවඳ විහිඳුවන්නටත් එම කැකුළට අවස්ථාව හිමි විය යුතු නිසායි. ඉතින් එසේ ළමයෙක් තුළින් නිසි කලදී ශික්ෂිත තාරුණ්‍යයක් බිහි කරලීමට වැඩිහිටි සියලු දෙනාගේ මඟ පෙන්වීම නොමඳව අවශ්‍ය වේ. ඉතින් වැඩිහිටි දිනය සමරන වැඩිහිටි ඔබ සැමට එම යුතුකම මෙසේ කාරුණිකව මතක් කර දෙමු!

සුභ ලෝක ළමා දිනයක් වේවා!

No comments:

Post a Comment