Monday 13 January 2014

පාසලේ ඉතිහාසය

මාතෘ පාසල් ඉතිහාසයෙන් බිඳක්


1911 දී කඳාන දේවස්ථාන පාලක ධූරය දරමින් කිතුනු සේවාවේ යෙදුණු ගරු ඒ.වයි. කීගර් පියතුමාගේ මූලිකත්වයෙන් හා ගරු ඒ.එම්.ඩී ජයමාන්න පියතුමාගේ දායකත්වයෙන් පොල්අතු මඩුවක ධර්මෝපදේශණය ඉගැන්වීම සඳහා බිහි වූ දහම් පාසලක් පසුව 1913 දී එම පියතුමාගේ කාලයේදීම සභාවේ පාලනයට යටත් වූ මිශ්‍ර පාසලක් ලෙස බිහි වූ අතර එහි ප්‍රථම විදුහල්පතිනිය වූයේ ගරු මේරි සොලාන්ජ් කන්‍යා සොයුරිය විය. 1914 දී කන්‍යා සොයුරියන් තිදෙනෙකුගෙන් හා ගුරු මහත්මීන් පස් දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයකින්ද සිසුන් 100 දෙනෙකුගෙන් ද පහළ බාලාංශයේ සිට ජ්‍යේෂ්ඨය දක්වා පංතිද තිබූ මෙම පාසලේ සීඝ්‍රවත් දියුණුවක් ඇති වූයේ 1926 දී ගරු රොමෝල්ඩ් පියතුමාගේ සමයේදීය. එවිට එම පාසැලේ සිසු සිසුවියන් 200 කට අධිකව සිටි අතර කොළඹ උතුර රොමානු කතෝලික පාසල ලෙස නම් කොට තිබුණි. 1972 දී එහි 13 වන විදුහල්පතිනිය වූ ගරු මේරි ඇන්සලම් කන්‍යා සොයුරියගෙන් පසුව ගිහි පාලකයන් වෙත විදුහල්පති ධූරය පැවරෙන ලදී. එහි ප්‍රථම ගිහි විදුහල්පති වූයේ එම්.පී.ජී. ප්‍රනාන්දු මහතා විය. ඉන්පසු මෙම පාසලේ නාමය කො/උ කඳාන කණිෂ්ඨ බාලිකා විදුහල විය. 1978 දී එන්.ඩී ප්ලෝරි ගුණසේකර ගරු විදුහල්පතිනියගේ සමයේදී 1 වසර සිට 5 වසර දක්වා වූ පූර්ණ බාලිකා ප්‍රාථමික විදුහලක් බවට පත් වූ අතර එහි සිටි ඉහළ ශ්‍රේණි වල ගැහැණු ළමුන් සමීපයේ බාලිකා මහ විදුහලට(කන්‍යාරාමය) වෙත යවන ලදී.

වත්මන් පාසලේ ඉතිහාසය


1915 වන විට කඳාන පිරිමි දරුවන්ට අධ්‍යාපනය සඳහා රජයේ පාසලක් වී නම් එය නාගොඩ කණිෂඨ ද්වීතීයික විදුහලයි. එසමයෙහි එහි ගරු විදුහල්පතිව සිටි පේදුරු පෙරේරා අමරතුංග ගුරුන්නාන්සේ ගුරු වෘත්තියෙන් සමුගෙන වෙදකම අරඹද්දී ඇතිවූ අරාජික සමය කඳානට පිරිමි පාසලක් අවශ්‍යතාවය මතු කළේය. එකල බර්තොලමියුස් එදිරිසිංහ මහතා නාගොඩ විදුහල්පතිව සිටිද්දී 1920 දී කොළඹ උතුර කඳාන රෝමානු කතෝලික පිරිමි සාසලේ ප්‍රථම විදුහල්පති ලෙස පාවූළු ගුරුතුමා වැඩ භාර ගත්තේය. එවකට කඳාන මීසම්පති වූ ගරු සී. කොරලෙක් පියතුමා දහම් කටයුතු සඳහා තනා තිබූ තාවකාලික ගොඩනැගිල්ලෙහි සිසුන් 40 දෙනෙකුගෙන් සහ ගුරුවරු තිදෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසලේ ප්‍රධාන ශාලාවේ මුල් කොටස නිම වීමෙන් පසු පාසල ස්ථාවර විය. මෙම පාසලේ සීඝ්‍ර දියුණුව කෙරෙහි අතිශයින්ම බලපෑ ගරු විදුහල්පතිවරුන් වන්නේ ජුවාන් එච්.ඩී ක්‍රිස්ටියන් සමරනායක, ජේ.ඩී. අගුස්ටීන්, එන්.ඩී.එස්. ගුණසේකර, එළාරිස් ප්‍රනාන්දු, ඩබ්ලිව්.කේ.ජී. පෙරේරා, ආර්.ඩී. මර්සලින් ජෝශප් පෙරේරා, එම්.ජේ. පාරිස් යන මහතුන් අදත් කඳාන ජනතාව ගෞරවයෙන් සිහිපත් කරති.

1952 දී කඳාන මීසම්පති ලෙස කටයුතු කළ ගරු ඊ. ඩේවිඩ් සොයිසා පියතුමා සහ සහයක පියතුමන් වන ගරු ඔලිවර් වීරක්කොඩි පියතුමා අප්‍රතිහත කැපවිමකින් මෙම පාසලේ ගොඩනැගිලි ඉදිකිරීම් නිමා කළෝය. 1968 ජනවාරි 4 වන දා මාතෘ පාසල වන රෝමානු කතෝලික බාලිකා පාසලේ සිසුන් 200ක් පමණ රෝමානු කතෝලික පිරිමි කණිෂඨ ද්විතීයික පාසලට මාරු කර එවූ අතර ගුරු පුරප්පාඩුව මඟහැරෙන තුරු ගුරුවරුන් කිහිප දෙනෙකුද අනුයුක්ත කරන ලදී. එකලද මෙම විදුහල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බව විදුහල්පති සමරු සටහන් වල ලියැවී ඇත.

කතෝලික නාට්‍ය, වාසප්පු, පාස්කු දර්ශන, කැරොල්, නාඩගම් හා දැඩි බැඳිමක් ඇති කඳාන ජනතාවගේ කලා කේන්ද්‍රය වූයේ මෙම පාසලේ වේදිකාවයි. එහි එස්.ඩී.එස්. ගුණසේකර විදුහල්පති සමයේදී “දාවිත් සහ ගොලියක්”, “සිටුවරයාගේ අපරාධය”, “ජොහාන් ඔෆ් ආක්”, “අන්ධ සිසුලියා” වැනි නාට්‍ය වේදිකා ගත කරන ලදී. කේ.ඒ.එන්. ප්‍රනාන්දු ගරු විදුහල්පතිවරයාගේ කාලයේදි ගරු ලූෂන් ඩෙප් පියතුමා මීසම් පාලක වූ අතර, සහයක පියතුමා වූ ගරු ටෙරන්ස් බෝධියා බදුගේ මීසම් තරුණ කතෝලික සංගමය සමඟින් “කණකොක් සුඳ” නාට්‍යය වේදිකා ගත කර එයින් ලැබුණු ආදායමින් විදුහලට අභ්‍යන්තර ශබ්ද විකාශන පද්ධතිය එක් කරන ලදී.

මෙම කණිෂ්ඨ ද්විතීයික විදුහලේ සිසුන් වසර ගණනාවක්ම නොකඩවා විදුහලට ජා-ඇල මාණ්ඩලික ක්‍රීඩා ශූරතාවය ලබා දුන්හ. ටයිටස් ලියනගේ විදුහල්පති සමයේදී එකල මීසම්පති ගරු සිරිකුරේ පියතුමාගේ අනුශාසකත්වයෙන් ආගමික විනය, ඉංග්‍රිසි බසට හැඩ ගැසිම, අධ්‍යාපන නැඹුරුව ඇති කෙරිණි. 1998 දී ටයිටස් ලියනගේ මහතා උසස්වීම් ලබා මීගමු කලාප අධ්‍යක්ෂක ධූරයට පත් විය. එකල බප/මීග කඳාන සාන්ත සෙබස්තියන් ප්‍රාථමික විදුහල වූ මෙහි 32කින් සමන්විත ගුරු මඪුල්ලක් සහ සිසුන් 1000ක් පමණ සිටියෝය. 1999 සිට මේ දක්වා ගරු විදුහල්පති ලෙස ඩබ්ලිව්. ලාල් කුමාර මහතා සේවය කරයි.

ආගමික ප්‍රතිශතය


1962-07-02 දිනයේ කතෝලිකසභාවේ පාලනයෙන් මුදා පාසල් වල පාලනය රජයට පවරා ගනිද්දී සභාව හා රජය අතර ගිවිසුමේ එක් වගන්තියක් අනුව එදිනට එහි සිටින සිසුන්ගේ ආගමික අනුපාතය එලෙසින්ම ඉදිරියට පවත්වා ගත යුතුය. ඒ අනුව මෙහි  කතෝලික ආගමික ප්‍රතිශතය 95% ක් විය.

මහා විදුහලේ ප්‍රතිසංවිධානය


1978 වසරේදී කඳාන රෝමානු කතෝලික පිරිමි කණිෂ්ඨ දිවිතීයික විදුහලේ අ.පො.ස (සා/පෙ) විභාගයෙන් සිසු දරුවෝ සිව්දෙනෙකු උසස් පෙළ සුදුසුකම් ලබා ගෙන සමත් වූහ. මේ අයගෙන් බර්ට්‍රම් රස්ටම්, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සිරිමල් පෙරේරා යන අයට මෙම පාසලේම උසස් පෙළ හැදැරීමට අවශ්‍ය විය.

එවකට කඳාන මීසම්පති වූ ගරු එළායස් වීරක්කොඩි පියතුමා සහ විදුහල්පතිව සිටි සිරිල් සමර වික්‍රම මහතාත් ක්‍රිස්ටි පෙරේරා, බොනිෆස් පෙරේරා, ටෙරන්ස් මල්ලවආරච්චි යන ප්‍රභූවරුන් මූලිකව තවත් අය විසින් පාසලට ජ්‍යේෂ්ඨ අංශයක් ලබා ගැනීම පිළිබඳව එවකට නියෝජ්‍ය කම්කරු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කළහ. ඒ අනුව කඳාන රෝමානු කතෝලික කණිෂ්ඨ ද්වීතියක විදුහල ප්‍රසාරණය කර නව මහා විදුහලක් නිර්මාණය කිරීමට තීරණය විය.

නව විදුහල සඳහා සාන්ත සෙබස්තියන් එල්ලේ පිටිය සහ ක්‍රීඩාපිටියට යාව අක්කරයක පමණ භූමි භාගයක් සිඩින් ජයසූර්ය මහතා විසින් ලබා දෙන ලදී. ජනතාව එක් වී සති කිහිපයක් පුරා වෙහෙසී පොල්ගස් ගලවා බිම සකස් කිරීමටද අත්තිවාරම දැමීමටද මහා හ්‍රමදානයක් දියත් කළහ. වසරක් ඉක්මයාමට ප්‍රථම තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවිණි. 1979 ජූලි 22 දා කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය නමින් ආරම්භ කළ මෙම විදුහලේ පෝෂණය ආරම්භ වුයේ කඳාන රෝමානු කතෝලික කණිෂඨ ද්විතීයික විදුහලේ 6 සිට 11 ශ්‍රේණි දක්වා පංති වල සිටි සිසුන් 171 දෙනොගෙනි. අ.පො.ස (උ/පෙ) කලා පන්තියක් ප්‍රථමයෙන් අරඹා පසුව වාණිජ සහ විද්‍යා අංශද ආරම්භ කළේය. මෙම විදුහලේ ප්‍රථම විදුහල්පති ධූරය හෙබවූයේ ජේ. ඇලොයි අරංගල්ල මහතාණන් වන අතර එතුමා 1988 දක්වා පාසල සංවර්ධනය කර පසුව උසස්වීම් ලබා ජාතික පාසල් භා අධ්‍යාපන අධ්‍යක්ෂක සහ කතෝලික අධ්‍යාපනය භාර අධ්‍යක්ෂක විය. ගුරුවරුන් 11 දෙනෙකුගේන් ආරම්භ වු මෙම මහා විද්‍යාලයේ 2010 වන විට ප්‍රාථමික අංශයේ සිසුන් 892ක් ද ජ්‍යෙෂ්ඨ අංශයේ සිසුන් 1228ක් ද වූ අතර සංයුක්ත ආචාර්ය මණ්ඩලය 80ක් වූහ.

ආරම්භයේදී උසස් පෙළ පන්ති සඳහා බාලිකාවන් ද ඇතුළත් කර ගත් අතර 2008 වර්ෂයේදී බාලිකාවන් ඇතළත් කර ගැනීම නවතා දමන ලදී. 2005 අප්‍රෙල් මාසයේ සිට මේ දක්වා විදුහල්පති ධූර හොබවන ඩබ්ලිව්. ලාල් කුමාර මහතා ජ්‍යේෂ්ඨ අංශයට ප්‍රාථමික අංශය ද එකතු කොට එක් විදුහල්පති වරයෙකු යටතේ පාලනය වන සංයුක්ත විදුහලක් බවට පත් ක‍ළේය. ආරම්භයේ සිට ජේ.ඒ. අරංගල්ල, ආර්.ඒ. මයිකල් රණසිංහ, සී.එන්.එන්. පෙරේරා, එම්. ෂර්ලි වී. පෙරේරා, ඩබ්ලිව්.එල්.ජේ. බොතේජු, වයි. විමල් සිල්වා, ඔගස්ටා සේනාධීර, හේමචන්ද්‍ර සූරියආරච්චි, ඩබ්ලිව්. ලාල් කුමාර යන විදුහල්පතිවරු මෙම පාසලට මහඟු ස්වාවක් ඉටු කළෝය. ප්‍රථම පැවිදි නියෝජ්‍ය විදුහල්පති ගරු නිලන්ත අඩුවන පියතුමා වන අතර දෙවන පැවිදි නියෝජ්‍ය විදුහල්පති ලෙස ගරු සුදත් හේමන්ත පියතුමා මේ දක්වා සේවයෙහි යෙදේ. එතුමාගේ ආගමනය නිසාම විද්‍යාලීය භූමිය තුළ නව දෙව් මැඳුරක් ඉදි විණි.

මූලාශ්‍ර:
  1. සදහම් තලෙන්තු II - 2011 සමරු පොතේ නෙවිල් ජයමහ ගුරු මහතාගේ සටහන 
  2. විද්‍යාලීය සංවත්සර සමරු පොත - 2004
  3. විද්‍යාලීය නිල වෙබ් අඩවිය - www.ssc.sch.lk

No comments:

Post a Comment