Thursday 4 November 2010

අරුමැසි පෙම

හැරගියා නොවෙයි ඔබ
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා

මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්

කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......


Thursday 28 October 2010

"අධ්‍යාපනය සමඟ අධ්‍යාත්මය"


වර්ෂ 2010ක් වූ ඔක්තොම්බර් 28 වූ අද දින කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ යැදුම් මැදුර උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.(යැදුම් මැදුරක් යනු කතෝලික ආගමික පාසල් තුළ සිසුන්ට යාච්ඤාව සහ ආගමික වතාවත් තුළින් තම අධ්‍යාත්මය දියුණු කරලීමට සාදන කුඩා දෙව්මැදුරකි.) මේ සඳහා කොළඹ පදවි  අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සහභාගී වූහ. එතුමා කාදිනල් ධූරය හිමි වීමෙන් පසු පාසලකට පැමිණි පළමු අවස්ථාව මෙය විය. මෙහිදී එතුමා විසින් පාසලේ යැදුම් මැදුරෙහි ප්‍රථම වරට දිව්‍ය පූජාව පතවනු ලැබූ අතර එහිදී දරුවන්ගේ අධ්‍යාපනයත් සමඟ අධ්‍යාත්මය වැඩි දියුණු කළ යුතු බවට එතුමා පැවසීය. තවදුරටත් පාසල ඇමතූ එතුමා රටට වැඩදායි දරුවන් පිරිසක් බිහි කීරීමට පාසල් මාතාවට හැකි වේවායි සුභාශිංශන එක් කළේය. එසේම විද්‍යාලයේ "සාරධර්ම යාය 2010" පොත් කළඹද අද දින එතුමාට පිළිගැන්වීය.

Tuesday 19 October 2010

ජය මග

දරාගෙන වඟකීම්
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව

ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න

මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න

Thursday 14 October 2010

නැවත එමි

නුදුටු මා බෝලයයි                                     පිත්තයි
නො ඇසූ හැංගිමුත්තම්                                  හඬයි

නොකළ කොම්පිට්ටුයි පොල්පිති               ගොනයි
ඇසුරු කළ බෝ මුලයි පොත්                         ගුලයි

ගත වැඩි සිප්සතර                                        පිරීයයි
හතර වරිගයම මා නිසා                            නිවන්යයි

ලෙඩ ඇ‍ඳේ පියාණන්                              අසරණයි
සොයුරු කැල සිප් සතර                             අනාථයි‍‍

මා මෑණි මුළු දවස කඳුළු                                බොයි
සමුගනිමි හිමියනේ මා සිතත්                    අසරණයි



Saturday 9 October 2010

ගුරු සුවඳ

සබඳ අප හමුවෙලා
දොඩමළුව සැනසුණා
තුටු සිතක් නොමැති බව 
තව දිනක හෙළි කළා
විඳවන්න ඇත තවත් බෝ දුරක්... දුෂ්කරය...

සුවඳ ඇති මල් අතර
විෂ ඇවුණු මල් කැකුළු පොඩිවෙලා හැකිලිලා
නොහැකි යැයි කරන්නට විකසිත
පවරමුද දොස දස දෙසට
නැත සබඳ
මහා සවියක් ලෙසින් දිස්වෙන
දසුනක් ඇත අප සතුව
නොසිතේ ද ඒ.. ගැන

වන්නට හැකිනම් ශිඛර කලාවක්
දැඩි හිරු රශ්මිය මුද කර පොවනට
ගුඟුලැල්ලක සිසිලස ගෙන දේනම්
මුඩු වී ගිය ඒ හිස් බිම් කතරට
අතුකොළ එළමින් පොහොර සදන්නට මහා රුකක් වී අසල රැ‍‍ඳෙන්නම්
සුවඳ සඟව ගත් පෙති විකසිත වී
රේණු පිරි පැණි බිඳු බේරෙන්නට
ඉඩක් නැතැයි පවසුනු හැකි කාහට

පිනි ඉසිණු මල් කැකුළු පිබිදෙන්න ඇත ඉඩක්
සුවඳවත් මල් ටිකක් මැදට වී තුටු සිතින්
ගැයෙන නිබ ඳව ම ප්‍රශස්තියේ මිහිර
පරයනවා සබඳ නැවුම් මල් සුවඳකින්
පිබිදෙන් නොහැකි වී පොඩිවෙලා ඇකිලිලා
ගිලිහෙන්න තිබූ මල්
නොදැනේවි ද?... අසීමිත සතුටක්

සබඳ අපි සමුගනිමු...
නිමේෂයක එක් දනක
හෙළමු සැනසුම් සුසුම්... දිගු විරාමයකට...

ආචාරිනී දයා
සා. සෙබස්තියන් මහා විද්‍යාලය
කඳාන

Wednesday 6 October 2010

ජීවිතේ මගේ C + L = A වැනි




ජීවිතේ  මගේ  C + L = A වැනි...
අකුරු තුනකින් සැදුණු සමීකරණයකින් ඇරඹුණු මා ඉන්පසු ගෙන ගියේ මූලික පොත් වෙතටය
එයින් නොනැවතුණු මා ඉන්පසු ගෙන ගියේ අවසාන ගිණුම් වෙතය. ලැබුනේ ශුද්ධ අලාභයකි.
ඇරඹුවෙමි වැරදි නිවැරදි කිරීමේ ගිණුම, ඵලක් නෑ තවත් ලැබුනේ ශූද්ධ අලාභයකි...

රොෂැන්ක වෙරන්ජන්

Friday 1 October 2010

"ළමා ලොව එළිය කරන්නට එක්වෙමු සැම දනා"

අද ක්‍රි.ව 2010ක් වූ වප් මස පළමු වැනිදාය. තවත් විදියකට කිව්වොත් අද ලෝක ළමා දිනයයි! පාසලක් විදියට එය සැවොම එකතු වී අනිවාර්යෙන්ම සමරන උත්සවයකි. ශ්‍රී ලංකාවේ අපි ලෝක ළමා දිනය අද වැනි දවසක සමරන්නෙමු. නමුත් විවිධ රටවලට අනුව මේ දිනය වෙනස් වේ. අපේ අසල් වැසි ඉන්දියාව ලෝක ළමා දිනය සමරන්නේ නොවැම්බර් දහසතර වැනිදාය. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එය නොවැම්බර් මස විසි වැනිදාය. කවුරු කෙසේ මොන දිනයේ සැමරුවත් එය ළමා දිනයමයි. එසේම අනිත් අතින් ගත් විට අද ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි දිනයද සැමරේ. ඒ නිසා ළමා පරපුරද වැඩිහිටි පරපුරද එකට එක්වන දිනයක් වේ.

සම්මතය අනුව අවුරුදු දහ අටට අඩු ඕනෑම පුද්ගලයෙක් ළමයෙක් වේ. නමුත් දරුවකු අවුරුදු දහහතරේ සිට මේ ළමා අවදිය අවසන් කරමින් වැඩිහිටිබාවය කරා වර්ධනය වීම සිදු වේ. ඉතින් ළමයි වශයෙන් මේ දේ අප කාටත් පොදු කරුණකි. නිසි කලදී ළමාවියත් වැඩිහිටි වියත් ගත කිරීමට අපට අනිවාර්යෙන්ම සිදු වේ. නූතන සමාජය තුළ ළමයාට එල්ල වන ප්‍රධානම අභියෝගය ළමාකම ආරක්ෂා කර ගැනීමයි. නියමිත වයසටත් පෙර ළමයාට වැඩිහිටිබාවය ලබාදීම සමාජය විසින් නොදැනුවත්ව හෝ දැනුවත්ව සිදු වේ. මෙහි ඇති වැරැද්ද වනුයේ වැඩිහිටි අවදියක් ගත කිරීමට තරම් ළමයා පරිපූර්ණත්වයකට පත්ව නොතිබීමයි! මල් කැකුළකට දැඩි උණුසුම ලැබීමෙන් එය පිපෙන්නටත් පෙර පරව යයි. නමුත් මල් කැකුළකට එය උරුම නොවිය යුතු දෙයකි. මක්නිසාදයත් එය පිපී දිලෙන්නටත් එහි සුවඳ විහිඳුවන්නටත් එම කැකුළට අවස්ථාව හිමි විය යුතු නිසායි. ඉතින් එසේ ළමයෙක් තුළින් නිසි කලදී ශික්ෂිත තාරුණ්‍යයක් බිහි කරලීමට වැඩිහිටි සියලු දෙනාගේ මඟ පෙන්වීම නොමඳව අවශ්‍ය වේ. ඉතින් වැඩිහිටි දිනය සමරන වැඩිහිටි ඔබ සැමට එම යුතුකම මෙසේ කාරුණිකව මතක් කර දෙමු!

සුභ ලෝක ළමා දිනයක් වේවා!

Tuesday 28 September 2010

ආයුබෝවන්!

කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලීය විසින් පවත්වාගෙන යන  බ්ලොග් අඩවියට ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපේ පාසලේ සිසුන්ගේ නිර්මාණශීල්තවයට ඉඩහසර ලබාදීම මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණයි.  ඒ තුළින් අපේ පාසලේ දැනුම හා නිර්මාණශීලිත්වයට සයිබර් අවකාශය තුළ වටිනාමක් එක් කිරීමට අපට හැකි වනු ඇත.